අපි රැඩිකල්වාදී උගුඩුවන් වෙමු.

මේ ලෝකයේ බොහෝ ‘වාද’ තිබේ. දේවවාදය, ධනවාදය, පවුල් වාදය සහ තවත් කප්පරක් වාද තිබේ. මේවා අතරින් අප අදහන වාදය ‘රැඩිකල්වාදය’ යි. මෙය කවදා, කොහේ ඇතිවුනාදැයි දන්නේ නැති නමුදු, වර්ථමානයේ මෙහි නියමුවන් අපි වන්නෙමු.

අන් සියළු වාදයන්ට වඩා, මේ වාදය බොහෝ රසවත්ය. ආතල්ය. චූන්ය. මෙය ගැන හරි හමන් වැටහීමක් නැති ගොබ්බයෝ අපි ‘අන්තවාදීන්’ යැයි හංවඩු ගසති. නමුත් අපි තරම් බුද්ධිමතුන් මේ මිහිතලයේ නැත. එබැවින්, අපි ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කිරීම අපගේ යුතුකම වෙයි.

අපේ තියරිය නම් ඕනෑම දේකට විරුද්ධ වීමය. අපි, ළමයි ටියුෂන් යනවාට විරුද්ධය. එසේම ටියුෂන් තහනම් කරනවාට ද විරුද්ධය. ඕනෑම දෙයක නරක පමණක් දැකීම සහ සියලු හොඳ යට ගසා නරක පමණක් උළුප්පා දැක්වීම අපේ ප්‍රත්පත්තිය යි. එවිට ජනතාව අපි මහා ප්‍රාඥයින් ලෙස පිළිගනී. අපේ ප්‍රධාන හතුරා පවතින ර‍ජයයි. අපි උදේත් හවසත්, රැයක් දවාලක් නැතුවත් ආණ්ඩුව පට්ට ගසන්නෙමු. ආණ්ඩුවට බැනීමෙන් අපිට අපිවම මාර්කට් කරගත හැකිය.

නිර්නාමික ව බ්ලොග් ලිවීම රැඩිකල්වාදීන් වන අපගේ ප්‍රධාන ලක්ෂණයකි. මේ ලියන මාද එසේ නිසා, එහි ඇති චූන් එක මම හොඳාකාරව දනිමි. අපි නිර්නාමික නිසා ජනතාව අපව දේවත්වයෙන් අදහයි. අනික, අපේ තියරි අපි නොපිලිපැද්දාට කමක් නැත. අප කව්දැයි කියා කවුරුවත් නොදන්නා නිසා, අපේ පුද්ගලිකත්වය සුරැකේ.

ඉරිදාට – පෝයට ටියුෂන් තහනම් කිරීමට, මෝඩ මැති ඇමති ගොල්ලෝ ගෙන ඇති තීරණයට අපි සම්පූර්ණයෙන් විරුද්ධය. අපි අපේ දරුවන් දහම් පාසල් යවන්නේ නැත. ‘දහම් පාසල’ යනු, කෙල්ලන්-කොල්ලන් නිදහසේ පෙම් කෙලින තැනයි. (මෙය අපගේ අළුත්ම සොයා ගැනීමයි) එවන් නොහොබිනා තැන්වල රස්තියාදුවේ යැවීමට අපි දරුවන් හදා නැත. කවදා හෝ අපේ දරුවන්ද අපි ගිය මග යා යුතුය. අපිට වඩා හොඳ රැඩිකල්වාදීන් විය යුතුය. ඒ නිසා අපි උන්ව දහම් පාසල් නොයවා කඩේ යවන්නෙමු. අනික, දරුවන් හැදුවේත්, උන්ට කන්න අඳින්න දෙන්නේත් අපිය. අපේ දරුවන් ගැන ආණ්ඩුවට ඇති රුදාව මොකක්ද?

දැන් දැන් අපේ දරුවන් අපි යන පාරේම ගමන් කරමින් සිටිනා බවට සාක්ෂි ලැබෙමින් පවතී. මෙය අපගේ මහත් සොම්නසට කරුණකි. පසුගිය දවසක පාසලේදී බියර් බී තිබුනේත්, ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් පන්ති කාමරයක් තුල නිරුවතින් සිට තිබුනේත් අපි වාගේ රැඩිකල් දෙමාපියන්ට පිං සිදු වන්නටය. (දරුවන්ගේ ලිංගික නිදහසට සහ බේබදු නිදහසට එරෙහිවූ පොලිසියටත්, විදුහල්පතිටත් ‍එරෙහිව බුද්ධිමත් ජනතාව වීදි බැසිය යුතුය! තවද, පසුගියදා ‘කිස්’ කිරීම නිසා තරුණ ජෝඩු අත්අඩංගුවට ගත් සිද්ධියට ද විරෝධය පෑ යුතුය. ‘කිස්’ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමකි.)

මේ දිනවල අපේ ප්‍රමුඛ කාර්යය බුද්ධාගම ගැන, ජනතාවට ගැඹුරින් කරණු පැහැදිලි කර දීමයි. බුද්ධාගම ගැන බුදුන් වහන්සේටවත් නොතිබුනු කැක්කුමක් අපට තිබේ. සංඝයා වහන්සේලා නොහොත් සංගයියලාට පට්ට පතුරු යන්න බැන වැදීම අපේ ප්‍රියතම විනෝදාංශයයි. එවිට ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවේ. බෞද්ධයෝ පෝයට පන්සල් යනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධය. බුදු හාමුදුරුවෝ පෝයට පන්සල් යන්නැයි කියා දේශනා කොට නැත. නිවාඩු දවසේ ගෙදරට වී අඩියක් පුඩියක් ගසාගෙන ඉන්නේ නැතුව පන්සල් ගියා කියා ලැබෙන කජ්ජක් නැත. සමහර මෝඩ බෞද්ධයින් කියන්නේ, පන්සලකට ගොඩ වැදුනු විට සිත සුවපත් වන බවයි. පට්ටපල් බොරුය. නිවන කියන්නේ මහා ප්‍රෝඩාවකි. රැවටීමකි. (හැකිනම් නිවන් දැකපු එකෙක් හෝ ඉදිරිපත් කරන ලෙස අපි සිවුරු ඇඳන් ඉන්න කට්ටියට අභියෝග කරමු!) බුද්ධාගම රැක ගැනීමේ පරම වගකීම රැඳී ඇත්තේ අප අතය. අපි ජනතාවට සත්‍ය වටහා දෙන්නෙමු.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති සියලූම නීති ඉවත් කළ යුතුය. නීති මගින් ජනතාව පාලනය කරන්නට යෑම ජනතාවගේ නිදහස බල්ලාට දැමීමකි. ගංජා, කසිප්පු, හෙරොයින් නීතිගත කළ යුතුය. මේවා පාසල් වල ආපනශාලාවල අලෙවියට තැබිය යුතුය. ‘බොන එකා බොයි – නැති එකා නිකං ඉඳියි’ යන්න අපේ තියරියයි. මිනිසුන්ගේ ආතල් කැඩීමට ආණ්ඩුවට අයිතියක් නැත.

රට ගොඩ නැගීමේ නියම ක්‍රමවේදයන් ඇත්තේ අප සතුවය. ඇත්තෙන්ම අප දැන් කරන්නේ ඒවා ක්‍රම ක්‍රමයෙන් සමාජගත කිරීමයි. ජනතාවගේ මොළ තුලට කා වැද්දීමයි. නීති-රීති, සිරිත්-විරිත්, යුතුකම්-වගකීම්, හැඟීම් – බැඳීම් වලින් නිදහස්, නිවහල් දේශයක් බිහි කිරීම අපගේ අරමුණයි. වැදූ මව – හැදූ පියා නොහඳුනන, ගුරුවරුන් – වැඩිහිටියන් සතුරන් සේ සලකන කාළකණ්නි සමාජයක් බිහි කිරීම අපේ අභිප්‍රාය යි. ඒ සඳහා බොහෝ පිරිස් දැනටමත් අප වටා රොක් වී සිටී. අපේ දරුවන්ගේ කාලය වන විට මේ ප්‍රමාණය දෙගුණ – තෙගුණ වනු ඇත.

අපිට ළමා කාලයක් නොතිබූ නිසාද, අපි එක එකාගේ ඉඳුල් කමින් අගුපිල් වල හැදුනු-වැඩුනු නිසාද, අම්මා තාත්තා කවුදැයි නොදන්නා නිසාද අපිට සංස්කෘතිය, සභ්‍යත්වය, ආචාර ධර්ම ආදියෙන් පලක් නැත. ඒවා අපිට දිරවන්නේ නැත. ඒවා අපේ රටින් අතුගා දැමිය යුතුය. අපේ අතීතය ද , වර්තමානය ද, අනාගතය ද කාලකණ්නි වී ඇති නිසා, අපිට දැන් නැති වෙන්නට දෙයක් නැත. අනිත් එවුන්වද නැත්තට ම නැති කිරීම අපේ ඒකායන අරමුණයි.

තව බොහෝ අරමුණු අපට තිබේ. ඒවා ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන්නෙමු. එන්න අප වටා රොක්වන්න! නිදහස් – නිවහල් – තුප්පහි දේශයක් ගොඩ නගමු! රැඩිකල්වාදී උගුඩුවන්ට ජයවේවා!!

Published in: on 2010 ජූනි 11 at ප.ව. 1:28  Comments (6)  

ඔවුහු ‘මැරතන්’ නිසා ආබාධිත වූහ.

පසුගියදා වෙබ් අවකාශයේ මැරතන් ඉසව්වක් පැවැත්වුණී. එය සාර්ථකව අවසන් වූ බවද දක්නට ලැබුනි. දැන් ‘පශ්චාත් මැරතන් ප්‍රචණ්ඩ ක්‍රියා’ නොහොත් ‘කොමන්ට්ස් මැරතන්’ ආරම්භ වී ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම තරගයකදී ආබාධයට ලක්වන්නේ හෝ ලක්වීමට ඉඩ තිබෙන්නේ ඊට සහභාගී වන තරගකරුවන්ය. නමුත් අවාසනාවට, මේ තරගයේදී ආබාධවලට ලක්වී ඇත්තේ ‘තරග සංවිධායකයින්’ සහ ‘මාධ්‍ය අනුග්‍රාහකයින්’ වීම කණගාටුවට කරුණකි.

තරග සංවිධායකයින් අවසාන මොහොත වන තෙක් ම තමන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදුන් බව මාධ්‍ය අනුග්‍රාහකයින්ගේ චෝදනාවයි. තමන් අධික ලෙස කාර්ය බහුල වූ බව සංවිධායකයින්ගේ පිළිතුරයි.

තරගයට අදාල තොරතුරු ලබාදීම හෝ නොදීම සංවිධායකයින් සතුව තිබූ අයිතියකි. තරගය ඔවුන්ගේය. නමුත් ඔවුන් ඊට පූර්වයෙන්ම කැමැත්ත දක්වා තිබුණි. සංවිධාකයින් දක්වන හේතුන් සාධාරණීකරණය කරන්නට ඔවුන් විවිධ සාක්ෂි ගෙනහැර පා තිබෙනු දක්නට ලැබුණි.

මාධ්‍ය අනුග්‍රාහකයෝ තරගය නැරඹිම සඳහා මෙන්ම වතුර ගැසීම සඳහාද වැඩි පහසුකම් සහිත අලංකාර වේදිකාවක් තනා තිබූ බව කීම අතිශයෝක්තියක් නොවේ. නමුත් එතනට ගොඩවූ ප්‍රේක්ෂකයාට සෑම තරගකරුවෙකුම දැක ගැනීමට නොහැකි වීම ඉතා අභාග්‍යසම්පන්න සිදුවිමක් වූයේය.

තව තවත් මේ ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමකි. කුමක් හෝ හොඳ වැඩක් කරන්නට ගොස් අවසානයේ නා ගෙන, හැම තැනම ගා ගැනීම සිංහල අපට ජන්මයෙන් ලැබුණු පුරුද්දකි. මේ දෙපාර්ශවයේම යෝජනා චෝදනා වල සත්‍යයක් තිබෙන්නට පුළුවන. (මේ වාද විවාද නිසා චූන් වී, කාළකණ්නි සතුටක් ලැබූ පිම්පියෝද සිටිනු දක්නට ලැබුණි) නමුත් මේ දෙපිරිසම මීට වඩා මේ ගැන සැළකිලිමත් වූවා නම්, මේ කර්තව්‍ය මීට වඩා දැකුම්කළු වන්නට ඉඩ තිබුණි.

දෙපාර්ශවය දෙපැත්තට වී එකිනෙකාට ගල් මුල් ගසා ගැනීම නිසා, සාර්ථක තරග ඉසව්වක් අවසානයේ වුවද තරග සංවිධායකයෝ සහ මාධ්‍ය අනුග්‍රාහකයෝ යන දෙපිරිසම ආබාධවලට ලක්වී ඇත්තාහ. මේ ආබාධ සුව වීමට බො‍හෝ කාලයක් ගතවනු ඇත.

කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ටික ටික ඇත. ඔබ දෙපිරිසටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

Published in: on 2010 අප්‍රේල් 25 at ප.ව. 7:30  Comments (6)  

නව “සිංහල සිංඩි කියවනය” ට ඔබේ ‘සිංඩිය’ ත් ඇතුලත් කරගන්න.

ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයේ, සිංහලෙන් ලියවෙන බ්ලොග් ලිපි ගොන්න හඳුන්වන අලංකාර නාමය වන්නේ,  ‘සිංහල බ්ලොග් අවකාශය’ යි. මේ ලිපි ගොන්න පහසුවෙන්, ඉක්මනින් පාඨකයා අතරට ගෙන යන්නේ ‘සිංඩිකේටර’ යි. දැන් දැන් සිංඩිකේටර වල ලිපි පලවනවාට වඩා වේගයෙන් සිංඩිකේටර බිහිවේ. මේ නිසා දැන් බිහිවී ඇති අළුත්ම අවකාශය “සිංහල සිංඩි අවකාශය” යි.

වැඩි වැඩියෙන් සිංඩි‍කේටර බිහිවීම, ඉතා යහපත් ප්‍රවණාතාවයකි. එවිට ලිපියක් ලියා පළකල විට එය හත් අට පොළකම පළවන නිසා, පාඨකයෝ වැල නොකැඩී ලිපිය බලන්නට එති. නමුත් ප්‍රශ්නය වන්නේ, බ්ලොග් ලියන්නෝ සියළු දෙනාම, බ්ලොග් නොලියා සිංඩිකේටර අටවා ගැනීමට කල්පනා කලහොත්, අවසානයේ බ්ලොග් කියා ඉතිරි වනු ඇත්තේ, සිංඩිකේටර වල ‘නිල බ්ලොග් අඩවි’ පමණි. එවිට එය ‘සිංහල සිංඩි නිල බ්ලොග් අවකාශය’ වනු ඇත.

සිංඩිකේටරයක් අටවා ගැනීමට කාගෙන්වත් අවසර ගතයුතු නැත. එය මූලික මිනිස් අයිතිවාසිකමකි. මෙතරම් සිංඩිකේටර බිහිවීමට හේතු සාධක සොයාබැලූ විට, කරුණු කිහිපයක් පෙණියයි. එක් අතකින් එය තමන්ගේ බ්ලොගය කුමන හේතුවක් නිසා ‍හෝ සිංඩිකේටරයකින් දොට්ට දැමු විට, එයට වි‍රෝධය දැක්වීමේ අහිංසක ක්‍රමයකි. තවත් අතකින් එය ‘ඇඩ්’ කිහිපයක් දමාගෙන පණං හතරක් හොයා ගැනීමේ සානුකම්පිත උත්සාහයකි.  එසේත් නැතිනම් එය ‘උඹලට පුලුවන්නම්, මට බැරිද’ වැනි ආත්මීය ප්‍රකාශනයකි.

පෙරදී නම් සිංඩිකේටර තිබුනේ දෙක තුනක් පමණක් නිසා පාඨකයන්ට මේවා මතක තබා ගැනීමට හැකියාවක් තිබුණි. නමුත් දැන් යතුරු පුවරුවේ බොත්තම් ගණනටත් වඩා සිංඩිකේටර ඇති  නිසා, මේවා මතක තබා ගැනීමේ ගැටළුවක් ඇති බවට පාඨකයෝ මැසිවිලි නගති.

මේ අති විශාල සිංඩිකේටර ප්‍රමාණය පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මම කලපනා කළෙමි. එසේම, සිංඩිකේටරවල ඉදිරි අනාගතය වෙනුවෙන් තබන යෝධ ඉදිරි පියවරක් ලෙසද සලකා, ‘සිංඩිකේටර’ , ‘සිංඩිකේට්’ වන්නා වූ ‘සිංඩිකේටරයක්’ ඇටවීමට මම අදහස් කරගෙන සිටිමි. කරුණාකර ඊට ඔබේ ‘සිංඩිය’ ද ඇතුලත් කර සහයෝගය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (මේ ‘සිංඩිකේටරය’ සඳහා බ්ලොග් ඇතුලත් කර නොගන්නා බව කරුණාවෙන් සළකන්න)

නව ‘සිංහල සිංඩි කියවනයේ’ ලිපිනය, නිල ලාංඡනය, නිල බ්ලොග් අඩවිය සහ අනෙකුත් තොරතුරු යථා කාලයේදී දැනුම් දෙනු ඇත.

Published in: on 2010 අප්‍රේල් 20 at ප.ව. 7:59  Comments (11)  

අපි කොපි කිරීමට උපන්නෙමු!

කොපි කිරීම වූ කලී මාර ආතල් වැඩකි. ලේසිය. පහසුය. මොලේ වෙහෙසවමින් කාලය නාස්ති කරන්නට වුවමනා නැත. ක්ෂණිකය. ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

අපි කොපි කිරීම පටන් ගන්නේ ඉස්කෝලේ යන කාලයේදීමය. අනෙකා මොළයට වධ දී අමාරුවෙන් ලබාගන්නා උත්තරය අපි සැණෙකින් කොපි කොට ටීචර්ට පෙන්වා ලකුණු දමා ගන්නෙමු. ඒකාට හැරෙන්නට වත් වේලාවක් නැත. ටීචර් හිතන්නේ අපි තමා ‘වැඩ්ඩෝ’ කියාය. ටීචර්ව රැවටීම මාර ආතල් වැඩකි.

කාලයක සිට අපි හින්දි සිංදු කොපි කරන්නෙමු. භාරතයේ මහා සංගීතඥයින්, සප්තස්වරයේ කිමීදී නිර්මාණය කරන්නාවූ මනමෝහනීය නාද රටා වලට අපි ගේමක් නැතුව සිංහල වචන ඔබන්නෙමු. මේවායින් මුසපත් වන, අගක් මුලක් නොදන්නා රසිකයා අපට දේවත්වයෙන් සළකන්ට පටන් ගනියි. රසිකයා ‘මෝඩයා’ කිරීම මාර ආතල් වැඩකි.

ඊළඟට අපි අපේම එවුන්ගේ නිර්මාණ කොපි කරන්නෙමු. කාලයක් තිස්සේ වෙහස මහන්සි වී,  හතර අතට ණය වී දොරට වඩම්මන සීඩී තැටිය  කිසි හිරිකිතයක් නැතුව ඩුප්ලිකේට් කරන අපි, එය පේමන්ට් එකට දමා තුට්ටු දෙකට විකුණන්නෙමු. තැටිය හදපු එකාට වැලේ වැල් නැති කිරීම මාර ආතල් වැඩකි.

අපි ටිකක් ඇඩ්වාන්ස් වූ පසු, පිටරට ‘ෂෝ’ස් ගෙඩි පිටින් කොපි කරන්නෙමු. අපේ ප්‍රේක්ෂකයාට පිටරට චැනල් නෙපෙනෙන නිසා අපිට කිසි කරදරයක් නැතුව ‘නිධානය’ ගොඩ දා ගත හැකිය. අපේ කොපි කිරීම කෙතරම් සාර්ථකද යත්, ඊට පසුව වෙන එකෙක් අපිව කොපි කරයි. ඌව තවෙකෙක් කොපි කරයි. අන්තිමට කොපි අච්චාරුවක් සෑදේ. මෙකී කොපි අච්චාරුවේ ගිලී මියයන ප්‍රෙක්ෂකයාගේ බොටුව මිරිකා සාක්කු පුරවා ගැනීම මාර ආතල් වැඩකි.

දැන් අළුත්ම කලාව බ්ලොග් කොපි කිරීමයි. කවුරුන් හෝ තම තමන්ට හැකි පමණින් කරුණු කාරණා හොයාගෙන අනෙකුත් දහසක් වැඩ රාජකාරී මැද්දේ ලියනා ලිපියක්, අපි විළි ලැජ්ජා නැතුව කොපි කොට අපේ වගේ පළ කරන්නෙමු. කිසිදු මහන්සියක් විය යුතු නැත. රෙදි ඇඳගෙන සිටීමට අවශ්‍ය නැත. කිරීමට ඇත්තේ Ctrl සමග පිළිවෙලින් A,C,V  එබීම පමණි.  මේවාට උඩගෙඩි දෙමින්, හොඳ ප්‍රසිද්ධියක් ද ලබාදෙන ‘ආයතන’ තිබීම අපේ භාග්‍යයකි. වාසනාවකි. අපේ මේ තුප්පහි වැඩේ  ගැන හාංකවිසියක් නොදන්නා, අපි මාර පොරවල් යැයි සිතා  අපිට කමෙන්ට්ස් ලබාදෙන අහිංසක පාඨකයා ගොනාට ඇන්දවීම මාර ආතල් වැඩකි.

මේ සඳහන් කලේ අපේ කෙරුවාවල් වලින් කිහිපයක් පමණය. තව බොහෝ ඇත.  අපිට අළුත් දෙයක් කිරීමට වුවමනාවක් නැත. ‘කොපි  කිරීම’ නම් වු සරළ පහසු ක්‍රමය තිබෙද්දී, අළුත් දෙයක් කරන්නට උත්සාහ කරන්නේ අහවල් කෙංගෙඩියකටද? අනේ අනිච්ඡං!!

Published in: on 2010 මාර්තු 31 at ප.ව. 8:18  Comments (10)  
Tags: ,

ආදරණීය ‘පබා’ අක්කී වෙත ලියමි,

ආදර පබා අක්කී,
ඉතින් ඔයා සනීපෙන් ඉන්නවා ඇතැයි කියා සිතනවාය. ඔයා මේ පාර චන්දේ ඉල්ලන නිසා ගොඩක් බිසී වෙලා ඉන්නා නිසා මේක කියවන්නට වෙලාවක් තිබේදැයි දන්නේ නැතිය.

ඉස්සර නම් සතියකට දවස් තුන-හතරක් ඔයා අපේ ගෙදර ආවා ගියේය. දැන් නම් ඔයාව දකින්න ට ලැබෙන්නේ අවාරෙට අඹ වැටෙන්නාක් මෙන් ඉඳ හිටලාය. කොටින්ම කිව්වොත් දැකපු කාලයක් මතක නැත.

ඔයාගේ සමගිපුර ගෙදර ඈයින්ගේත්, වටේ පිටේ කොල්ලො කුරුට්ටන්ගේත් මාතෘකාව ඔයා වුනත්, උන් ඔයාගේ සුදු මූණ පෙන්නන්නේ නැත. සමහර විට ඔයා පේන්න නැත්තේ චන්ද වැඩ නිසා ඔයාට නිවාඩු දී ඇති නිසා වෙන්නටත් පුළුවන්ය. ළඟකදී ඉඳන් අර මුලින් යන සිංදු කෑල්ලත් කපා දමා තිබෙන්නේ චන්ද නීති අකුරටම පිළිපදින නිසා වෙන්නට ඕනෑය. (හැබැයි පාරේ යන එන ඈයෝ, අධර්මන් කාරයාගේ පෝස්ටර් ඉස්සරහම නතරවී කතා කර කර ඉන්නේ හිතලා නොවේය. අහම්බෙන්ය.)

කොහොම වුනත් ඔයා ඔහේ චන්දෙ කරද්දී, මෙහේ හරි හරි වැඩ වෙනවාය. ඔයා නැති අල්ල පනල්ලේ, ඔයාගේ හතුරෝ ටික සැට් වී ඔයාව පිළිවෙලකට මඩ නාවනවා ය. දැන් ඉන්නේ, අර ඉස්සර හිටපු අවංක, කීකරු, අහිංසක පබා නොවේය. එක එකා එක්ක නන්නත්තාරේ යන ‘අවලං පබා’ ය. කවුරු කොහොම කිව්වත් අපි කරුණු කාරණා දන්නා නිසා ඔයා ඒ ගැන දුක් වෙන්නට ඕනෑ නැතිය.

අපේ අයියා නම් කියන්නේ ඔයා වැඩේ අනාගත්තා කියාය. ගිලෙන නැව් වලට නගින්නට කළින් ඔයාට දෙපාරක් හිතන්නට තිබුනාය. වැල යන පැත්තට මැස්ස ගහන්නේ නැතුව පරජාතන්තරවාදය ද මොකක්ද එක ගැන කතා කරන්නට ගිහින් ඔයා වැඩේ චා කර ගත්තේය.

ඔයාට තිබුනේ ප්‍රතිපත්ති බල්ලාට දමා, සෝමේ අංකල් ගේ ‘කලාබර හවුල’ ට හෝ නාමල් අයියාගේ ‍’අපට හෙටක්‍’ ප්‍රෝගෑම් එකට හෝ ඔළුව දමා ගන්නටය. එහෙනම් මෙළහකටත් ඔයා ආමන්තයා ව කසාද බැඳගෙන, රෙජිනෝල්ඩ් කාරයාගේ ලේලිය වී හමාරය. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. ළිඳට පැනපු එකා ළිං කටින්ම ගොඩ එන්නට ඕනෑය.

නාට්ටියේ නමට, ඔයාගේ නම දාලා තිබුනේ හොඳ වෙලාවට ය‍‍. නැත්නම් අර දොස්තරයාට වුනා වගේ ඔයාටද ඇඩ්රස් නැතිවනු ඇත. (දොස්තරයා යැයි කීවේ, අර එක පාරක් ආමන්තයා ඩිරැට්ටර් කාරයා එක්ක ගුටි ඇණගත්ත හින්දා, අත පය කඩා එංගලන්තේ යවපු වෙලාවේ, ඔයා එක්ක සැට් වෙන්න‍ට ආ මෑන්ස්ට ය. හැබෑටම කෝ දැන් මිනිහා??)

කොහොම උනත් අපි අසුබවාදී ව හිතන්නට ඕනෑ නැත. මේ මං වාගේ, ඔයාගේ රසිකයෝ ගොඩාරියක් ඉන්නා නිසා ඔයා චන්දෙන් දිනලා කවුන්සිලේට යන බව මට නම් ඉර හඳ වාගේ ෂුවර් ය‍. (අනර්කෙලී අක්කත් ඔය යස අපූරුවට චන්දෙ ඉල්ලලා දිනපු එකේ, ඔයාට බැරි මොකෝ!)

කොහොමහරි කරලා ඔයාලාගේ ම ආණ්ඩුවකුත් අටවා ගන්නට පුළුවන් වුනොත් කික්ම තමාය‍‍‍. එහෙම වුනොත් නම් ඔයාට කරන්නට තියෙන්නේ අනිල් අංකල්ට වැඳලා හෝ ජනමාද්දිය ඇමති කම ඉල්ලා ගන්නා එකය‍. ඊට පස්සේ ඔයාට කැපිල්ල දාපු හැත්ත බුරුත්ත ඔක්කෝගේම ලිස්ට් එකක් හදාගෙන වැඩේ පටන් ගන්නට පුළුවන්ය. වැඩියෙන්ම කැපිලි දාපු එවුන්ගේ ගෙවල් වලට සුදු වෑන් යවා, ඊළඟ ට පිළිවෙලින් අත-පය කඩා දැමීම, රස්සාවෙන් දොට්ට දැමීම, මරණ තර්ජන කිරීම, නාට්ටියෙන් එළවීම, වැනි කළගුණ සැළකීමේ ක්‍රියාමාර්ග වලට එළඹෙන්න ට පුළුවන් ය. ඊට පස්සේ කතාව ඔයාට ඕනෑ හැටියට වෙනස් කරගන්නටත් පුළුවන් ය. ඕනෑ නම් නමද වෙනස් කල හැකිය. ‘චණ්ඩි පබා’, ‘වීර පබා’, ‘යුක්තියට පබා’ වාගේ එකක් හොඳය. (ඔයා කැමති නම් තව නම් සෙට් එකක්ම හදලා එවන්නට පුළුවන් ය.) හැබැයි ඉතින් මම නම් කියන්නේ ඔයා එහෙම ලොකු පුටුවක වාඩි වුනාට පස්සේ, නාට්ටිය නවත්තලා දමන එක හොඳය කියා ය‍. ඒ වාගේ පාංකඩ නාට්ටිය වල රඟපෑම ඔයාගේ තත්වෙට හොඳ නැතිය.

හැබැයි පබෝ, බැරිවෙලාවත් ඔයාට චන්දේ ගොඩ දාගන්න බැරි වුනොත්, මොනවායින් මොනවා වෙයිදැයි හිතා ගන්නට බැරිය‍. කොච්චර චණ්ඩියා වුනත් වසන්තයාටවත් ඔයාව බේරා ගන්නට බැරි වනු ඇත. මුන් ටික එකතු වී ඔයාට වැලේ වැල් නැති කරනු ඇත. එහෙම වුනොත්, ඔයා සිය දිවි නසා ගන්නා සීන් එකක් බලෙන් හරි ෂුට් කරවාගෙන නම්බු පිටින් අයින් වෙන එක හොඳය.

කොහොම වුනත් ඔයාව දකින්න ට නැති කමෙන් අපි ඉන්නේ බො‍හොම දුකෙන්ය. ඉඳ හිටලාවත් පොඩ්ඩක් මූණ පෙන්නා යන්නට එන්න පුළුවන් නම් හොඳය.

තව ගොඩාරියක් දේවල් ලියන්නට හිතේ තිබුනත් ඔයාට මේවා කියවන්නට වෙලාවක් තිබේදැයි නොදන්නා නිසා අදට නවතිනවාය. ඔයා‍ගේ සියළු වැඩ කටයුතු කිරි ගහට ඇන්නාහේ සාර්තක වේවා යි පතනවාය.

ඔයාට අනිල් අංකල්ගේත්, සිකුරුටි අංකල්ගේත් පිහිටයි.
මීට ,
ඔයාට හිතවත්,
බංඩා

Published in: on 2010 මාර්තු 21 at ප.ව. 1:49  Comments (4)