අපි රැඩිකල්වාදී උගුඩුවන් වෙමු.

මේ ලෝකයේ බොහෝ ‘වාද’ තිබේ. දේවවාදය, ධනවාදය, පවුල් වාදය සහ තවත් කප්පරක් වාද තිබේ. මේවා අතරින් අප අදහන වාදය ‘රැඩිකල්වාදය’ යි. මෙය කවදා, කොහේ ඇතිවුනාදැයි දන්නේ නැති නමුදු, වර්ථමානයේ මෙහි නියමුවන් අපි වන්නෙමු.

අන් සියළු වාදයන්ට වඩා, මේ වාදය බොහෝ රසවත්ය. ආතල්ය. චූන්ය. මෙය ගැන හරි හමන් වැටහීමක් නැති ගොබ්බයෝ අපි ‘අන්තවාදීන්’ යැයි හංවඩු ගසති. නමුත් අපි තරම් බුද්ධිමතුන් මේ මිහිතලයේ නැත. එබැවින්, අපි ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කිරීම අපගේ යුතුකම වෙයි.

අපේ තියරිය නම් ඕනෑම දේකට විරුද්ධ වීමය. අපි, ළමයි ටියුෂන් යනවාට විරුද්ධය. එසේම ටියුෂන් තහනම් කරනවාට ද විරුද්ධය. ඕනෑම දෙයක නරක පමණක් දැකීම සහ සියලු හොඳ යට ගසා නරක පමණක් උළුප්පා දැක්වීම අපේ ප්‍රත්පත්තිය යි. එවිට ජනතාව අපි මහා ප්‍රාඥයින් ලෙස පිළිගනී. අපේ ප්‍රධාන හතුරා පවතින ර‍ජයයි. අපි උදේත් හවසත්, රැයක් දවාලක් නැතුවත් ආණ්ඩුව පට්ට ගසන්නෙමු. ආණ්ඩුවට බැනීමෙන් අපිට අපිවම මාර්කට් කරගත හැකිය.

නිර්නාමික ව බ්ලොග් ලිවීම රැඩිකල්වාදීන් වන අපගේ ප්‍රධාන ලක්ෂණයකි. මේ ලියන මාද එසේ නිසා, එහි ඇති චූන් එක මම හොඳාකාරව දනිමි. අපි නිර්නාමික නිසා ජනතාව අපව දේවත්වයෙන් අදහයි. අනික, අපේ තියරි අපි නොපිලිපැද්දාට කමක් නැත. අප කව්දැයි කියා කවුරුවත් නොදන්නා නිසා, අපේ පුද්ගලිකත්වය සුරැකේ.

ඉරිදාට – පෝයට ටියුෂන් තහනම් කිරීමට, මෝඩ මැති ඇමති ගොල්ලෝ ගෙන ඇති තීරණයට අපි සම්පූර්ණයෙන් විරුද්ධය. අපි අපේ දරුවන් දහම් පාසල් යවන්නේ නැත. ‘දහම් පාසල’ යනු, කෙල්ලන්-කොල්ලන් නිදහසේ පෙම් කෙලින තැනයි. (මෙය අපගේ අළුත්ම සොයා ගැනීමයි) එවන් නොහොබිනා තැන්වල රස්තියාදුවේ යැවීමට අපි දරුවන් හදා නැත. කවදා හෝ අපේ දරුවන්ද අපි ගිය මග යා යුතුය. අපිට වඩා හොඳ රැඩිකල්වාදීන් විය යුතුය. ඒ නිසා අපි උන්ව දහම් පාසල් නොයවා කඩේ යවන්නෙමු. අනික, දරුවන් හැදුවේත්, උන්ට කන්න අඳින්න දෙන්නේත් අපිය. අපේ දරුවන් ගැන ආණ්ඩුවට ඇති රුදාව මොකක්ද?

දැන් දැන් අපේ දරුවන් අපි යන පාරේම ගමන් කරමින් සිටිනා බවට සාක්ෂි ලැබෙමින් පවතී. මෙය අපගේ මහත් සොම්නසට කරුණකි. පසුගිය දවසක පාසලේදී බියර් බී තිබුනේත්, ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් පන්ති කාමරයක් තුල නිරුවතින් සිට තිබුනේත් අපි වාගේ රැඩිකල් දෙමාපියන්ට පිං සිදු වන්නටය. (දරුවන්ගේ ලිංගික නිදහසට සහ බේබදු නිදහසට එරෙහිවූ පොලිසියටත්, විදුහල්පතිටත් ‍එරෙහිව බුද්ධිමත් ජනතාව වීදි බැසිය යුතුය! තවද, පසුගියදා ‘කිස්’ කිරීම නිසා තරුණ ජෝඩු අත්අඩංගුවට ගත් සිද්ධියට ද විරෝධය පෑ යුතුය. ‘කිස්’ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමකි.)

මේ දිනවල අපේ ප්‍රමුඛ කාර්යය බුද්ධාගම ගැන, ජනතාවට ගැඹුරින් කරණු පැහැදිලි කර දීමයි. බුද්ධාගම ගැන බුදුන් වහන්සේටවත් නොතිබුනු කැක්කුමක් අපට තිබේ. සංඝයා වහන්සේලා නොහොත් සංගයියලාට පට්ට පතුරු යන්න බැන වැදීම අපේ ප්‍රියතම විනෝදාංශයයි. එවිට ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවේ. බෞද්ධයෝ පෝයට පන්සල් යනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධය. බුදු හාමුදුරුවෝ පෝයට පන්සල් යන්නැයි කියා දේශනා කොට නැත. නිවාඩු දවසේ ගෙදරට වී අඩියක් පුඩියක් ගසාගෙන ඉන්නේ නැතුව පන්සල් ගියා කියා ලැබෙන කජ්ජක් නැත. සමහර මෝඩ බෞද්ධයින් කියන්නේ, පන්සලකට ගොඩ වැදුනු විට සිත සුවපත් වන බවයි. පට්ටපල් බොරුය. නිවන කියන්නේ මහා ප්‍රෝඩාවකි. රැවටීමකි. (හැකිනම් නිවන් දැකපු එකෙක් හෝ ඉදිරිපත් කරන ලෙස අපි සිවුරු ඇඳන් ඉන්න කට්ටියට අභියෝග කරමු!) බුද්ධාගම රැක ගැනීමේ පරම වගකීම රැඳී ඇත්තේ අප අතය. අපි ජනතාවට සත්‍ය වටහා දෙන්නෙමු.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති සියලූම නීති ඉවත් කළ යුතුය. නීති මගින් ජනතාව පාලනය කරන්නට යෑම ජනතාවගේ නිදහස බල්ලාට දැමීමකි. ගංජා, කසිප්පු, හෙරොයින් නීතිගත කළ යුතුය. මේවා පාසල් වල ආපනශාලාවල අලෙවියට තැබිය යුතුය. ‘බොන එකා බොයි – නැති එකා නිකං ඉඳියි’ යන්න අපේ තියරියයි. මිනිසුන්ගේ ආතල් කැඩීමට ආණ්ඩුවට අයිතියක් නැත.

රට ගොඩ නැගීමේ නියම ක්‍රමවේදයන් ඇත්තේ අප සතුවය. ඇත්තෙන්ම අප දැන් කරන්නේ ඒවා ක්‍රම ක්‍රමයෙන් සමාජගත කිරීමයි. ජනතාවගේ මොළ තුලට කා වැද්දීමයි. නීති-රීති, සිරිත්-විරිත්, යුතුකම්-වගකීම්, හැඟීම් – බැඳීම් වලින් නිදහස්, නිවහල් දේශයක් බිහි කිරීම අපගේ අරමුණයි. වැදූ මව – හැදූ පියා නොහඳුනන, ගුරුවරුන් – වැඩිහිටියන් සතුරන් සේ සලකන කාළකණ්නි සමාජයක් බිහි කිරීම අපේ අභිප්‍රාය යි. ඒ සඳහා බොහෝ පිරිස් දැනටමත් අප වටා රොක් වී සිටී. අපේ දරුවන්ගේ කාලය වන විට මේ ප්‍රමාණය දෙගුණ – තෙගුණ වනු ඇත.

අපිට ළමා කාලයක් නොතිබූ නිසාද, අපි එක එකාගේ ඉඳුල් කමින් අගුපිල් වල හැදුනු-වැඩුනු නිසාද, අම්මා තාත්තා කවුදැයි නොදන්නා නිසාද අපිට සංස්කෘතිය, සභ්‍යත්වය, ආචාර ධර්ම ආදියෙන් පලක් නැත. ඒවා අපිට දිරවන්නේ නැත. ඒවා අපේ රටින් අතුගා දැමිය යුතුය. අපේ අතීතය ද , වර්තමානය ද, අනාගතය ද කාලකණ්නි වී ඇති නිසා, අපිට දැන් නැති වෙන්නට දෙයක් නැත. අනිත් එවුන්වද නැත්තට ම නැති කිරීම අපේ ඒකායන අරමුණයි.

තව බොහෝ අරමුණු අපට තිබේ. ඒවා ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වන්නෙමු. එන්න අප වටා රොක්වන්න! නිදහස් – නිවහල් – තුප්පහි දේශයක් ගොඩ නගමු! රැඩිකල්වාදී උගුඩුවන්ට ජයවේවා!!

Published in: on 2010 ජූනි 11 at ප.ව. 1:28  Comments (6)  

The URI to TrackBack this entry is: https://wakkada.wordpress.com/2010/06/11/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/trackback/

RSS feed for comments on this post.

ප්‍රතිචාර 6ප්‍රතිචාරයක් ලබාදෙන්න

  1. […] තමගේ අයිතිවාසිකම් ගැනම දොඩන පට්ට රැඩිකල්වාදීන් කිසිවිටෙකත් තමගේ යුතුකම් ගැන කතා […]

  2. මේක කොහොමත් තුප්පහි දේශයක් නොව, තව මොකැයි කරන්න තියෙන්නෙ. අපි ඉහ ගහල ඉන්නෙ ඒකනෙ මේ භවනෙ.

  3. පිස්සු කොර මචන්!

  4. මැක්සා

  5. “(අපි රැඩිකල්වාදී උගුඩුවන් වෙමු)”බ්ලොග් සටහන නිර්නාම්ක බ්ලොග් කරුවන් ගැන යථාර්තවාදී අදහසක් ඉදිරිපත්කරයි
    සයිබරයේ රැඩිකල්වාදීන්ට ජය වේවා


ප්‍රතිචාරයක් ලබාදෙන්න